‘Blue’ ජපන් චිත්රපටය

වර්ෂ 2001 දී සිනමාවට නැගෙන හිරොශි අන්දොගෙ ‘Blue’ ජපන් චිත්රපටය පශ්චාත් අධිරාජ්යවාදී රටවල එම මානසිකත්වයෙ සීමා තරණය කිරීමට අපොහොසත්ව එම සීමා තුළ සිර වී ජීවත්වන සිනමාකරුවන්, විචාරකයින් හා පොදු ජනතාව විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු අග්රගන්ය සිනමා නිර්මාණයකි. මෙසේ කීමට හේතු කාරණා ගණනාවකි.

චිත්රපටය නරඹන ඕනෑම කෙනෙකුට එක්වරට ප්රබල ලෙස දැනෙන කාරණාව නම් ලාංකීය, ඉන්දීය චිත්රපටවල ඇති සමාජ, දේශපාලනික වාතාවරණයෙන් නිදහස්, හුදෙක් ඒවා නිසා පුද්ගල අභ්යන්තරයට කිඳා බැසීමට ඇති සීමා බාධක වලින් තොර, හුදු සෞන්දර්යාත්මක, ආත්මීය විවරණයක, ආත්ම කථනයකට ඉඩ සැලසුණ කතා සන්දර්භයක් චිත්රපටය තුළ පැවතීම යි. මුළු කතාවම දෝලනය වන්නේ කිරිෂිමා සහ එන්ඩො යන නව යෞවන වියේ පසුවන ගැහැනු ලමුන්ගේ ජීවිත කේන්ද්රගතවය.

ඊටත් වඩා දැනෙන දේ නම් එම කතාව ‘පලුදු’ කිරීමට එරට දේශපාලනයටවත්, එම දරුවන්ගේ දෙමව්පිය පසුබිමවත්, සමාජයේ හෝ ලෝකයේ අර්බුද මධ්යයේ ජපානයේ ස්ථාවරයවත් ඉස්මතු නොකර, එම දැරිවියන්ගෙ පාසල, නිවස, පාසැල් බස්රථය, පාසලත් නිවසත් අතර ගමන් මාර්ගය වැනි ‘සීමිත’ වපසරියක සුළු නොවූ ඉතා ගැඹුරු ආත්ම විවරණයකට සිනමාකරුවාට යාමට හැකි වීමයි. මෙය කී විගසම මා සිතට නැඟෙන්නේ ලාංකීය සිනමා කරුවාට නිර්මාණය කල නොහැකිවූ, සරල සුළු වපසරියක් තුළ කලාත්මක, විශේෂයෙන් ආත්මීය ප්රකාශයක් ඉස්මතු කරන ආකාරයේ නිර්මාණ වලට යා හැකි දුර කෙතරම් ද යන්නය. ඒ අසලකටවත් යනවනම් ‘විකට’ යැයි සැලකෙන සුළු වපසරියක රංගන ටෙනිසන් කුරේලා වැනි අය රඟපාන ඉතා නොගැඹුරු වින්දනීය යැයි සැලකෙන ‘බාල’ වර්ගයේ චිත්රපට පමණයි ලාංකේය සිනමාවට නැඟෙන්නෙ. ‘Blue’ චිත්රපටයට සාපේක්ෂව එවන් චිත්රපට පවතිනුයේ ඉතා නොගැඹුරු ‘බාල’ තලයකය.

මෙහිදී තවත් කාරණාවක් කිවයුතුයි. එනම් කරුණාසේන ජයලත් යුගයේ බිහිවූ ‘ගොලු හදවත’ ප්රබන්ධය පසුබිම් කර ගත් චිත්රපටයක් විනා අද දින ලාංකේය සිනමාව තුළ නව යෞවන ආත්මය තුළට එතරම්වත් දුරට යන චිත්රපට නැත්තේ ඇයි? පවුල්වාදය, සංස්කෘතිය, සභ්යත්වය වැනි ‘ලොකු’ දේවල් වලට යටත්ව ඒවායින් අන්ධව සිටින තාක් කල් අනේකත්වය තේරුම් ගන්නට අපට හැකි වේද?

මෙවන් පටු, අනවශ්ය සන්දර්භයන්ගෙන් මිදුණු චිත්රපටයකි ‘Blue’. එන්ඩො යනු සුළඟ යන අතට, ගඟ ගලන අතට පාවෙන චරිතයකි. ඇයට කිසිදු අනාගත සැලසුමක් නැත. විවාහක පිරිමියකු සමග පවතින අනියම් සම්බන්ධයක් නිසා පිලිසිඳ ගන්නා ඇය එම පිළිසිඳ ගැනීම තබා එහි ගබ්සාව ගැන වත් ඔහුට නො කියයි. ඒ තරම්ම ඇය ඔහු තේරුම් ගෙන සිටි. ඔහුගේ බිරිඳගේ දරු ගැබ මළ දරු උපතක් සේ මෙලොවට බිහි වෙද්දී ඔහු ඒ ගැන බොහෝ වචන ප්රකාශ නොකළද, එන්ඩොට ඔහුගේ ආත්මය පවසන දේ ඇසෙයි. මෙවන් සංවේදී, අනෙකා පිළිගන්නා, අනෙකාට සවන් දෙන, අනෙකා තේරුම් ගන්නා එන්ඩොට තම ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්, අවස්ථාවක් ලද විට; ඔහු සමග තෝකියෝ නුවර අලුත් ජීවිතයක් ගත කරන්නට ඔහුගෙන්ම ඇරයුමක් ඇති අවස්ථාවක් ලද විට; එහි යාමට නොහැකි වෙයි. ඒ කිරිෂිමා නිසා.

මේ අතර ඔහුගේ CD, චිත්ර කලාවට බර පොත් පත් (expressionism ආරයෙ) ආදියෙන් තම මිතුරියන් (කිරිෂිමා, නකානො) ‘පෝෂණය’ කරන එන්ඩො කිරිෂිමාගෙ ආදරයට දිය හැකියි උතුම්ම පිළිතුරු දෙයි. ඒ අරමුණක්, අනාගතයක්, ආත්මීය ප්රකාශයක්, අරුතක් නැති ව සිටි කිරිෂිමාට චිත්ර කලාව හරහා නව ජීවයක් ලඟා කර දීමයි.

චිත්රපටයේ කූටප්රාප්තිය සනිටුහන් වන්නේ මෙම ආත්ම ප්රකාශනය අවිඥානිකව කිරිෂිමාට එන්ඩොගෙන් ලැබුණු දායාදයක් වීමයි. මෙමගින් එන්ඩොගෙ ජීවිතයට නව අරුතක් ලබාදීමට හැකිව තිබූ තෝකියෝ නුවර බලා කිරිෂිමා කලාව හැදෑරීමට විශ්වවිද්යාලයක් බලා පිටත්වන මොහොතේ චිත්රපටය නිමාවෙයි. එම අවස්ථාවේ කිරිෂිමාත් එන්ඩොත් මුලින්ම මුණ ගැහුණු මුහුදු වෙරළේ එන්ඩො තනිවේ. නමුත් සෑම අවස්ථාවකම එන්ඩොගේ චරිතය ප්රබලය. ඇය ඉතා ඉහළ තැනකට ඔසවා තබා සිනමා කරුවා තම නිර්මාණය අවසන් කරයි. විවාහක පිරිමියාත්, කිරිෂිමාත්, නකානොත් යන මේ සියල්ලන්ටම ඇය ආදරය ලබා දෙයි. ඒ කිසිවෙක් ඇය ප්රතික්ෂේප නොකරයි. චිත්රපටය අවසන් වන්නේ තෝකියෝ නුවර සිට ඇසෙන කිරිෂිමාගේ වදන් වලිනි. ඒ ඇයගේ ඉල්ලීමට පිළිතුරු ලෙස එන්ඩො විසින් ඇයට යවන ලද වීඩියෝ පටයකින් වෙරළ දිගේ ඇවිද යන එන්ඩො ක්රමයෙන් මුහුද දෙසටත්, සිතිජ ඉමටත්, ඈත නිල් වළාකුළු වලටත් කාචය හසුවන, වදන් රහිත රූපරාමු පෙළ දෙස නැවත නැවතත් කිරිෂිමා බලන බව අපට දනවමින්. මෙතරම් දුරට අනෙකා හරහා තමා හඳුනා ගැනීමෙ ශක්යතාවක් ඇති ජපානයේ තරුණ ප්රජාවට සාපේක්ෂකව ඔවුන්ගේ ආත්මය විවර කරන, එහි ගැටලු පෙන්වන චිත්රපට ලංකාවේ නැත. ඒ වෙනුවට අපට ඇත්තේ ආගමික, සංස්කෘතික (පුන)රුදයකි. රටක ආත්මය තරුණ ප්රජාව නම් ඔවුන්ගේ ආත්ම කථනයට ඉඩ සැලසීම එරට නිර්මාණකරුවාගේ විචාරකයාගේ වගකීම නොවේද? පැනය ඔබ ළඟ තබා මගේ සටහන නවතමි.

Comments